මොනාද මේ Data Centers කියන්නේ?
අපි දිනපතාම internet එක පාවිච්චි කරනවා. Cloud එකේ දත්ත සේව් කරනවා කියලා කිව්වට ඇත්තටම මේ දත්ත අහසේ තියෙන වලාකුළුවල නෙවෙයි සේව් වෙන්නේ. මේ හැම දේකටම පෘථිවිය මත භෞතිකව පවතින දැවැන්ත ගොඩනැගිලි අවශ්‍ය වෙනවා. අන්න ඒ ගොඩනැගිලිවලට තමයි අපි Data Centers කියලා කියන්නේ.
සරලවම කිව්වොත්, Data Center එකක් කියන්නේ දහස් ගණනක් පරිගණක සර්වර්ස් (Servers) එකම වහලක් යට තියලා, ඒවාට නොනවත්වා විදුලිය සහ අධිවේගී අන්තර්ජාලය සපයන මධ්‍යස්ථානයක්. Google, Facebook, Microsoft වගේ දැවැන්ත සමාගම්වලට ලෝකය පුරාම මේ වගේ අක්කර ගණන් විශාල Data Centers තියෙනවා.
Data Center එකක් ඇතුළේ තියෙන්නේ මොනවාද?
Data Center එකක් නිකන්ම computer room එකක් නෙවෙයි. ඒක ඇතුළේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා:
- Servers (සර්වර්ස්): මේවා තමයි දත්ත ගබඩා කරන සහ ක්‍රියාවලි (Process) කරන ප්‍රධාන පරිගණක. මේවා සාමාන්‍ය computers වගේ නෙවෙයි, රාක්කවල (Racks) පිළිවෙළකට අසුරලා තියෙන්නේ.
- Power Infrastructure (විදුලි පද්ධතිය): Data Center එකක තියෙන සර්වර්ස් එක තත්පරයකටවත් ඕෆ් වෙන්න බැහැ. ඒ නිසා ප්‍රධාන විදුලියට අමතරව දැවැන්ත ජෙනරේටර් (Generators) සහ UPS පද්ධති මෙහි තියෙනවා.
- Cooling System (සිසිලන පද්ධතිය): පරිගණක දහස් ගණනක් එක දිගට වැඩ කරද්දී අධික තාපයක් ජනනය වෙනවා. මේ තාපය පාලනය කරලා සර්වර්ස් සිසිල්ව තබාගන්න දැවැන්ත AC පද්ධති සහ ද්‍රව සිසිලන (Liquid Cooling) ක්‍රම මෙහි භාවිත වෙනවා.
Data Centers වල ඇති වාසි (Pros)
අද ලෝකෙට Data Centers නැතුවම බැරි වෙලා තියෙන්නේ මේවායින් ලැබෙන අතිමහත් වාසි නිසයි.
- නොනවතින සේවාව (24/7 Uptime): අපිට ඕනෑම වෙලාවක Facebook යන්න පුළුවන්, Youtube බලන්න පුළුවන්. ඒකට හේතුව මේ Data Centers අවුරුද්දේ දින 365ම, දවසේ පැය 24ම නොනවත්වා ක්‍රියාත්මක වීම.
- දත්තවල ආරක්ෂාව (High Security): Dara Centers වල ඩිජිටල් ආරක්ෂාව (Cybersecurity) වගේම භෞතික ආරක්ෂාවත් උපරිමයි. Armored Security, ඇඟිලි සලකුණු සහ ඇස් ස්කෑන් කරන පද්ධති වගේම දැඩි නීති රීති මේවායේ ආරක්ෂාවට යොදාගන්නවා.
- දත්ත නැති නොවීම (Data Redundancy/Backup): එක සර්වර් එකක් හෝ එක Data Center එකක් කැඩුනත්, අපේ දත්ත තවත් තැනක සේව් වෙලා තියෙන නිසා අපිට කිසිම දත්තයක් නැති වෙන්නේ නැහැ.
- අධිවේගී සේවාව (Speed): ලෝකයේ විවිධ ප්‍රදේශවල මේවා පිහිටුවා ඇති නිසා අපිට ඉතාම ඉක්මනින් වෙබ් අඩවිවලට සහ ඇප්ස්වලට පිවිසීමේ හැකියාව ලැබෙනවා.
Data Centers වල ඇති අවාසි සහ හානි (Cons)
වාසි ගොඩක් තිබුණත්, මේ Data Centers නිසා අද ලෝකය මුහුණ දෙන බරපතළ ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.
- අධික විදුලි පරිභෝජනය (High Energy Consumption): ලෝකයේ නිපදවන මුළු විදුලි බලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වෙන්නේ මේ Data Centers පවත්වාගෙන යන්නයි. මේක සමහර කුඩා රටවල් පාවිච්චි කරන මුළු විදුලියටත් වඩා වැඩියි.
- පරිසර දූෂණය සහ කාබන් විමෝචනය (Environmental Impact): අධික විදුලිය භාවිතය නිසා මේවායින් විශාල කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. ඒ වගේම සිසිලන පද්ධති සඳහා වසරකට පිරිසිදු ජලය ලීටර් බිලියන ගණනක් වැය වෙනවා.
- විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste): සර්වර්ස්වල තියෙන දෘඩාංග (Hardware) නිතරම අලුත් කරන්න වෙනවා. පරණ වෙන කොටස් අහක දැමීමේදී විශාල විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා.
- අධික පිරිවැය (Huge Maintenance Cost): මේවා ඉදි කිරීමට සහ නඩත්තු කිරීමට ඩොලර් බිලියන ගණනක මුදලක් වැය වෙනවා. ඒ නිසා කුඩා සමාගම්වලට තමන්ගේම කියලා ඩේටා සෙන්ටර්ස් පවත්වාගෙන යාම සිහිනයක් විතරයි.
Data Centers කියන්නේ අද ලෝකයට නැතුවම බැරි අංගයක්. ඒවායේ තියෙන අවාසි අවම කරගන්න දැන් ලෝකයේ "Green Data Centers" එහෙමත් නැත්නම් පරිසර හිතකාමී දත්ත මධ්‍යස්ථාන බිහි වෙමින් පවතිනවා. සූර්ය බලශක්තියෙන් සහ මුහුදු පතුලේ සර්වර්ස් තැබීමෙන් මේවායේ පරිසර හානිය අවම කරන්න සමාගම් දැන් කටයුතු කරමින් ඉන්නවා.
By SANA
💬 Comments